ප්‍රාදේශික ව්‍යවහාර

සිංහල භාෂාවේ කතා ව්‍යවහාරය ලංකාව පුරා භාවිත වන්නේ එක ම ආකාරයට නොවේ; ප්‍රදේශයෙන් ප්‍රදේශයට සුළු සුළු වෙනස්කම් සහිත ව භාවිත වන බව පෙනෙන්නට ඇත. මෙසේ ප්‍රදේශයකට විශේෂ වූ භාෂා ව්‍යවහාර ‘ප්‍රාදේශික ව්‍යවහාර’ යන නමින් හැඳින්වේ. බින්තැන්න, මොනරාගල, දිගාමඬුල්ල, ස බරගමුව, සත් කෝරළය, වන්නිය, නුවර කලාවිය, රුහුණ වැනි ප්‍රදේශවල කලකට පෙර ප්‍රාදේශික ව්‍යවහාර ලක්ෂණ බෙහෙවින් දැක ගත හැකි විය. අධ්‍යාපනය, ජනමාධ්‍යය ආදිය ප්‍රචලිත වීම නිසා සිංහල භාෂාවේ ඇති ප්‍රාදේශික විවිධතා දැන් ක්‍රමයෙන් මැකී යන්නට පටන් ගෙන ඇත. එහෙත් ප්‍රාදේශික ව්‍යවහාර ඇසුරු කර ග ත්තා වූ සාහිත්‍ය නිර්මාණ අප අතර අදට ද දැක ගත හැකි ය. සන්නිවේදනය පහසු කර ගැනීම සඳහා ප්‍රාදේශික ව්‍යවහාර හඳුනා ගැනීම අරමුණු කර ගත් මෙම පාඩම මහාචාර්ය ජේ.බී. දිසානායකගේ ‘සිංහල ජන වහර’ කෘතියෙන් උපුටා ගන්නා ලද්දකි.

1 කොටස
මොනරාගල, හේන් ගොවිතැනින් සරුසාර වූ පෙදෙසකි. එහෙත් එහි ඉදි කෙරෙන හේන් වටා දක්නට ලැබෙන්නේ වැටවල් නොවේ. ‘වැටං’ ය. පොදු සිංහලයෙහි බහු අර්ථය දෙනු වස් යොදනු ලබන ‘වල්’ යන්න වෙනුවට මෙහි භාවිත වන්නේ ‘ං’ පමණි. මේ රටාව අනුව, මොනරාගල දී හමු වන්නේ දොරවල් නොව ‘දොරං’ ය ගොඩවල් නොව ‘ගොඩං’ ය. ඇළවල් නොව ‘ඇලං’ ය ළිඳවල් හෝ ළිං නොව ‘ළිඳං’ ය. තමාගේ ම දරුවන් හැඳින්වීමෙහි දී ‘මා’ හෝ ‘මය්’ යන්නක් යෙදීම ද මොනරාගලට හුරු ව්‍යවහාරයකි. තමාගේ ම පුතා ‘මා පුතා’ය. තමාගේ ම දුව ‘මා දූ’ හෙවත් ‘මය් දූ’ය. තම පුතාගේ බිරිඳට ‘පුතා දූ’ කියාත් තම දුවගේ පුරුෂයාට ‘දූ පුතා’ කියාත් ආදරයෙන් වහරනු ලැබේ.

‘මය් දූ’ යන්නෙහි ‘මය්’ යන්න ‘මගේ’ යන්න ම මේ පළාතේ භාවිත වන සැටි යි. ‘මගෙ’ යන වචනය ‘මග’ කියාත් මෙහි දී ඇසිය හැකි ය. පොදු සිංහලයෙහි සම්බන්ධ අර්ථය දැනවීම පිණිස යෙදෙන ‘ගෙ’ වෙනුවට ‘ග’ පමණක් යෙදීම මේ පළාතේ සුලභ සිද්ධියකි. මේ අනුව, තොගේ යනු ‘තොග’ වෙයි. මහත්තයගෙ යනු ‘මහත්තයග’ වෙයි. හාමිනේගෙ යනු ‘හාමිනෙග’ වෙයි.

කලින් සිදු වුණු යමක් ගැන කීමෙහි දී බැලුවා, කැඩුවා, වැපුරුවා වැනි වචනයක් යෙදීම පොදු සිංහලයෙහි රටාව යි. එහෙත් මෙහි භාවිත වන රටාව ඊට බෙහෙවින් වෙනස් ය. මෙහ යෙදෙන්නේ බැලුවා යන්න නො ව ‘බලව්වා’ යන්න ය. කැඩුවා යන්න නොව ‘කඩව්වා’ යන්න ය. වැපුරුවා යන්න නො ව ‘වපුරව්වා’ යන්න ය. මොනරාගල වැසියන් ‘කුදහව්වා’ කියන්නේ නිදා ගත්තාට ය. ‘ගහමව්වා’ යයි කියන්නේ විසි කළාට ය. ‘පුන්නව්වා’ යයි කියන්නේ නිදි කෙරුවාට ය. ඉර පායන විට හෝ අව්ව පායන විට වෙනත් පළාත්වල කියනු ඇසෙන්නේ ‘ඉර පෑව්වා’ හෝ ‘අව්ව පෑව්වා’ වැනි වහරකි. එහෙත් එම වහර මෙහි යෙදෙන්නේ ‘ඉර පෑය්යා’ හෝ ‘අව්ව පෑය්යා’ යනුවෙනි. ‘දැක්කා’ යන වචනය වෙනුවට ‘දුටා’ යන්නක් ද මෙහි වහරනු ලැබේ. ‘අම්මා දුටා පුත්තු’ යන වැකියෙන් කියවෙන්නේ අම්මා පුතුන් දුටු බව යි. වෙලා යන්න සඳහා ‘විලා’ යයි යෙදීම ද මොනරාගල වහරේ ලක්ෂණයකි. ‘රෑ විලා’, ‘මුවා විලා’ යනු විසිනි. කිසිවෙකුට විධානයක් කිරීමෙහි දී ‘කරපං’, ‘බලපං’, ‘බීපං’ යනු විසින් ව්‍යවහාර කිරීම සාමාන්‍ය ජන වහරේ රීතිය වෙයි. මෙහි එන ‘පං’ වෙනුවට ‘ප’ පමණක් යෙදීම මොනරාගල ජන වහර යි. ‘කරප’ ‘බලප’ ‘බීප’ යනුවෙනි. ‘ගහමප’ යයි කියන්නේ ‘විසි කරපං’ යන අරුතිනි. ‘කුදහප’ යයි කියන්නේ ‘බුදියගනිං’ යන අරුතිනි.

මෙවැනි විධානයක් තරමක් ආදරයෙන් යුතු ව පළ කරන විට ‘කොය්’ යන්නක් එකතු කිරීම මෙහි සිරිත ය. ‘වරෙං’ යයි නොකියා ‘වරෙංකොය්’ කියාත්, ‘බලපං’ යයි නොකියා ‘බලපංකොය්’ කියාත් ‘දුවපං’ යයි නොකියා ‘දුවපංකොය්’ කියාත් යෙදෙන්නාක් සේ ය. මොනරාගල වැසියෙකු ‘මං එද්දිං යාකොය්’ යනුවෙන් කිව හොත් වෙනත් පළාතක වැසියෙකුට එය එක් වර ම තේරුම් ගැනීම තරමක් අපහසු වනු ඇත. මෙහි ‘යාකොය්’ යන වචනයෙන් කියවෙන්නේ ‘පලයං’ හෙවත් ‘යන්ටකෝ’ යන අරුත යි. ‘එද්දිං’ යනු යෙදෙන්නේ එන තුරු හෙවත් එන තෙක් යන තේරුමෙනි. මේ අනුව ‘මං එද්දිං යාකොය්’ යනු තමා එන තුරු යන ලෙස මොනරාගල වැසියා තව එකෙකුට කී අයුරු යි. මෙසේ ම යන තුරු යයි කීමට ‘යද්දිං’ යනුත් කපන තෙක් යයි කීමට ‘කපද්දිං’ යනුත් යෙදේ.

‘වැස්ස වහින්ටත් වපුරව්වා’ යනුත් මොනරාගල පෙදෙසට ම සීමා වුණු ජන වහරක් සේ පෙනෙයි. මෙහි ‘වහින්ටත්’ යනු වහිද්දිත් යන අරුත් දෙයි. යට කී වැකියෙන් කියවෙන්නේ වැස්ස වහිද්දිත් වැපිරූ බවකි. මේ අනුව ‘කියන්ඩත්’ යනු කියද්දිත් යන අරුත ද, ‘බලන්ටත්’ යනු බලද්දිත් යන අරුත ද දෙයි. නැතුව යන්න ‘නැතුං’ සේ ද කැටුව යන්න ‘කැටුං’ සේ ද මොනරාගල පෙදෙසෙහි යෙදෙයි. ‘කුදහන්නැතුං වරෙල්ලා’ යයි කියන්නේ පමා නො වී හෙවත් නිදා ගන්නේ නැති ව ආ යුතු බව කීමට ය. ‘මොක්කු කැටුං පනං උනේ?’ යන ප්‍රශ්නයෙන් ඇසෙන්නේ කවුරුන් කැටුව ගියා ද යන වග යි. මේ ප්‍රශ්නයට පිළිතුරක් නොදන්නා කල ‘කවුද්දං’ යයි කියනු ඇසේ. එහි අරුත ‘කවුද දන්නෙ’ හෝ ‘අනේ මන්දන්නෑ’ වැන්නකි. ‘නැත්තං’ යන වචනය ‘නැට්ටං’ යනුවෙන් ද මෙහි දී අසන්නට ලැබේ. ප්‍රශ්නයක් ඇසීමෙහි දී ‘ද’ යන වචනය යොදා ‘ගියා ද’ ‘මොක ද?’ වැනි වහර භාවිත කිරීම පොදු සිංහලයෙහි රීතිය වුවත් මොනරාගල රීතිය ඊට මඳක් වෙනස් වෙයි. එවැනි ‘ද’ යන්නක් යොදනු වෙනුවට කට හඬ උස් පහත් කිරීමෙන් ම එම වැකිය ප්‍රශ්නයක විලාසයෙන් ඇසීමට මොනරාගල වැසියෝ සමත්තු ය. ‘අප්පච්චි හේනට ගියා ද?’ යයි අසනු වෙනුවට ‘අප්පච්චි හේනට ගියා?’ යනුවෙන් උච්චාරණ ධ්වනිය උස් කොට කතා කිරීම මෙහි බොහෝ විට සිදු වෙයි. ‘කොහේ ද’ යනු මෙහි දී ‘කොහා?’ වන්නාක් සේ ම ‘මොනව ද?’ යනු ‘මොනා?’ වෙයි. පොදු සිංහලයෙහි යෙදෙන සමහර වචන මොනරාගල පළාතේ යෙදෙන්නේ වෙනස් වෙනස් අරුත් දනවමිනි. මොනරාගල වැසියන් ‘ඉඟුරු’ යයි කියන්නේ ‘ඉරිඟු’ සඳහා ය.

එබැවින් එහි ‘ඉරුං ගස්’ පමණක් නො ව ‘ඉඟුරු කරල්’ ද හමු වෙයි. මෙහි ‘අඹ’ යනුවෙන් හැඳින්වෙන්නේ ‘පැපොල්’ හෙවත් ‘ගස් ලබු’ ය. ‘පුහුල්’ යන්නෙන් ‘වට්ටක්කා’ ද ‘කොකිස්’ යන්නෙන් ‘කිරි අල’ ද අදහස් කෙරේ. වෙනත් පළාත්වල වැසියන් උදේ හවස යොදන සමහර වචන මෙහි වැසියන් සලකන්නේ අසභ්‍ය අර්ථයක් ද ජනිත කරවන වහර හැටියට ය. එබැවින් ‘කුරුල්ලා’ යන වචනය වෙනුවට මෙහි යෙදෙන්නේ ‘සකලයා’ යනු යි. හේන්වලට එන කුරුල්ලන් පැන්නීම මෙහි හැඳින්වෙන්නේ ‘සකලයො අඹනවා’ යනුවෙනි. පොඩි දරුවන් ලවා ‘සකලයන්ට ඕගාන්ට’ හෝ කීගාන්ට සැලැස්වීමෙන් උන් එළවීම සිදු කෙරේ. ‘ලෙල්ල’ යන වචනය ද මෙහි දී භාවිත කළ යුත්තේ පරිස්සමිනි. මෙහි වැසියන් ‘පොල් ලෙල්ල’ යයි නොකියා ‘පොල් කටුව’ හෝ ‘පොල් පොත්ත’ යයි කියන්නේ ලෙල්ල ගැන සඳහන් කිරීමට අකමැති හෙයිනි. ‘ලෙලි ගහනවා’ යන්න සඳහා ‘ඔයනවා’ යනු යෙදෙන්නේ ද මේ හේතුවෙනි.

2. කොටස
අප කාට කාටත් නෑදෑයෝ සිටිති. එහෙත් ඔවුන් හැඳින්වීම සඳහා ලංකාව පුරා ම යෙදෙන්නේ එක ම පද නොවේ. එක් පළාතක ‘තාත්තා’ යනුවෙන් ඇසෙන පදය උඩරට පළාතට ගිය විට ඇසෙන්නේ ‘අප්පච්චි’ හෝ ‘අපුච්චා’ යනුවෙනි. අම්මාට ‘අම්මණ්ඩි’ කියා ගරු සරු ඇති ව කතා කරන සිංහලයෝ දකුණු පළාතේ සිටිති. දෙමාපියන්ගේ දෙමාපියන් හැඳින්වීමට යෙදෙන පද බෙහෙවින් වෙනස් ය. මේ දෙපොළ හඳුන්වනු පිණිස කොළඹ පළාතේ අසන්නට ලැබෙන්නේ ‘සීයා’ හා ආච්චි’ යන පද දෙක යි.

එහෙත් කොළඹින් ඈතට ගිය කලට ‘කිරි අත්තා’ ‘කිරි අප්පා’ ‘ආත්තා’ ‘අත්තප්පා’ ‘ලොකු අත්තා’ වැනි පදවලින් සීයාත් ‘කිරි අම්මා’ ‘අත්තම්මා’ ‘හීන් අත්තා’ වැනි පදවලින් ආච්චිත් හැඳින්වෙති. ‘මුත්තා’ යන පදය වැඩිපුර යෙදෙන්නේ සීයාගේත් සීයා හැඳින්වීමට වුවත් දකුණු පළාතේ මෙය යෙදෙන්නේ සීයා සඳහා බව ද අසන්නට ලැබිණි. පියාගේ සහෝදරයන් හැඳින්වීමට යෙදෙන නම් ද පළාතෙන් පළාතට වෙනස් වේ. පියාගේ වැඩිමහල් සහෝදරයා සඳහා ‘ලොකු තාත්තා’ ‘ලොකු අප්පච්චි’ ‘බක්කප්පච්චි’ ‘මහප්පා’ යන පද යෙදෙන අතර ඔහුගේ බාල සහෝදරයා හැඳින්වීමට ‘බාප්පා’ ‘කුඩප්පා’ ‘කුඩප්පච්චි’ යන පද යෙදේ. බාප්පාට ‘බාප්පොච්චි’ යන නම ද යෙදේ. මවගේ සහෝදරියන් හැඳින්වීමට යෙදෙන නම් ද පළාතින් පළාතට වෙනස් ය. මවගේ වැඩිමහල් සහෝදරිය සඳහා ‘ලොකු අම්මා’ ‘බක්කම්මා’ ‘මහම්මා’ යන පද යෙදෙන අතර ඇගේ බාල සහෝදරිය හැඳින්වීමට ‘පුංචි අම්මා’ ‘කුඩම්මා’ යන පද යෙදේ.

සමහර පළාතක ‘කුඩම්මා’ යැයි යෙදෙන්නේ පියාගේ දෙවෙනි විවාහය නිසා පවුලට එක් වන කාන්තාව හඳුන්වනු පිණිස ය.විවාහයෙන් පසු ‘මාමණ්ඩි’ හා ‘නැන්දම්මා’ යනුවෙන් දෙදෙනෙක් පවුලට එකතු වෙති. මාමා සඳහා ‘මාමණ්ඩි’ යන්නත් සමහර පළාතක යෙදේ. එසේ ම මාමණ්ඩි හැඳින්වීමට ‘අම්මණ්ඩි’ යන පදය හතර කෝරළයෙහිත් ඇතැම් උඩරට පළාත්වලත් යෙදේ. ඌව පළාතේ ‘අම්මණ්ඩි’ යන පදයෙන් හැඳින්වෙන්නේ නැන්දා ය.

3. කොටස
නාම පද මෙන් ම ක්‍රියා පද ද පළාතෙන් පළාතට වෙනස් වෙයි. ‘බීවා’ යන පදය උඩරැටියන් අතර ව්‍යවහාර වන්නේ ‘බුන්නා’ යනුවෙනි. ‘හිටියා’ යන පදය උඩරැටියන් අතර ව්‍යවහාර වන්නේ ‘හිට්ටා’ යනුවෙනි. ‘දැම්මා’ යන පදය දකුණු පළාතේ සිංහලයන් අතර ව්‍යවහාර වන්නේ ‘දෑවා’ යනුවෙනි. ‘මං ඔහේට ලියුමක් දෑවා’ යැයි කියනු මාතර දී අසන්නට ලැබිය හැකි ය. ‘බලනවා’ ‘හිතනවා’ ‘වපුරනවා’ වැනි පදවලින් අතීත ක්‍රියා පද සදා ගන්නා රටාව ද පළාතින් පළාතට වෙනස් වේ. පොදු සිංහලයෙහි ඒ පදවලින් සැදෙන්නේ ‘බැලුවා’ ‘හිතුවා’ ‘වැපිරුවා’ යන ක්‍රියා පද යි. එහෙත් උඩරට පළාතක දී ‘බලව්වා’ ‘හිතව්වා’ ‘වපුරව්වා’ යන ක්‍රියා පද ද ඇසේ.

පොදු සිංහලයෙහි ‘එන්න’ ‘වාඩි වෙන්න’ ‘බොන්න’ යනුවෙන් කෙරෙන ආරාධනා උඩරට සිංහලයන් අතින් කෙරෙන්නේ ‘එන්ට’ ‘වාඩි වෙන්ට’ ‘කන්ට’ යනුවෙනි. ‘කරපං’ ‘බලපං’ ‘කියපං’ වැනි ක්‍රියා පද දකුණු පළාතෙහි දී ‘කරහං’ ‘බලහං’ ‘කියහං’ යනුවෙන් වෙනස් වෙයි. එසේ ම ‘කරපල්ලා’ ‘බලපල්ලා’ ‘කියපල්ලා’ වැනි ක්‍රියා පද ‘කරහල්ලා’ ‘බලහල්ලා’ ‘කියහල්ලා’ යනුවෙන් වෙනස් වෙය

O. නාම ප්‍රකෘති හා ධාතු ප්‍රකෘති
නාම පදයක් යනු කිසියම් කෙනෙක්, දෙයක්, ස්ථානයක් , ස්වභාවයක් හඳුන්වන පද බවත් ක්‍රියා පදයක් යනු වීමක්, විඳීමක්, කිරීමක් හඟවන පද බවත් ඒවායේ විවිධ ප්‍රභේද ඇති බවත් ඔබ මේ වන විටත් උගෙන ඇත. නාම පදයක හෝ ක්‍රියා පදයක මුල් ස්වරූපය ප්‍රකෘතිය හෙවත් මූලය ලෙස හැඳින්වෙයි. නාම පදයක මුල් රූපය නාම ප්‍රකෘතිය නමින් ද ක්‍රියා පදයක මුල් රූපය ධාතු ප්‍රකෘතිය නමින් ද හැඳින්වෙයි.

මෙහි පළමු පෙළේ ‘කුමරා’ සහ ‘කුමරී’ යන නාම පද දෙක ම නිර්මාණය වී ඇත්තේ ‘කුමර’ යන ප්‍රකෘතියට නාම ප්‍රත්‍යයක් එක් වීමෙනි. ඒ අනුව ‘කුමර’ යනු නාම ප්‍රකෘතියකි. දෙවන පෙළේ ‘බලයි’ සහ ‘බලති’ යන ක්‍රියා පද නිර්මාණය වී ඇත්තේ ‘බල’ යන ප්‍රකෘතියට ක්‍රියා ප්‍රත්‍යයක් එක් වීමෙනි. ඒ අනුව ‘බල’ යනු ධාතු ප්‍රකෘතියකි. බොහෝ විට නාම ප්‍රකෘතියක් හෝ ධාතු ප්‍රකෘතියක් යෙදෙන්නේ ප්‍රත්‍යය ගන්වන ලද පදයක් ලෙසිනි. එහෙත් ප්‍රකෘතිය ස්වාධීන ව පවතින අවස්ථා ද වෙයි.

කුමර (ගී), මිනිස් (ඇස)

ඇතැම් නාම ප්‍රකෘති විශේෂණ පද වශයෙන් යෙදෙන ආකාරය ඉහත දැක්වේ. සිංහල භාෂාවේ විශේෂත්වයක් වන්නේ නාම ප්‍රකෘතිය හෙවත් වර නොනැගුණු රූපය විශේෂණය වශයෙන් භාවිත වීමයි.

ගස්, පුටු
යන නිදර්ශන සැලකූ විට අප්‍රාණවාචී නාම පදවල බොහෝ විට බහු වචන රූපය වන්නේ ප්‍රකෘතිය ම බව පෙනෙයි.

ගය ගයා , බල බලා
මෙහි තද පැහැයෙන් දක්වා ඇති යෙදුම් ධාතු ප්‍රකෘති වේ. එනම් මෙබඳු මිශ්‍ර ක්‍රියාවල යෙදෙන පද දෙකෙන් පළමු වැන්න ප්‍රකෘතිය වශයෙන් ම පවතී. මිශ්‍ර ක්‍රියා සාදා ගන්නා අනෙක් ක්‍රමය වන්නේ ධාතු ප්‍රකෘතියට ‘මින්’ ප්‍රත්‍යය එක් කිරීමයි. එහි ද ධාතු ප්‍රකෘතිය වෙන් කොට හඳුනා ගැනීම පහසු වේ.

ගයමින්, බලමින්
ප්‍රයෝජ්‍ය ක්‍රියාවේ දී ද ධාතු ප්‍රකෘතිය හඳුනා ගැනීම පහසු ය. ප්‍රයෝජ්‍ය ක්‍රියා ප්‍රත්‍යය වන ‘ව’ යන්නට පෙර ධාතු ප්‍රකෘතිය පැහැදිලි ව දැකිය හැකි ය.

ගයවයි, බලවයි
මීට ඉහත දී ඔබ ක්‍රියා පදවල විවිධ ප්‍රභේද පිළිබඳව ඉගෙන ගෙන ඇත. පහත සටහනේ දැක්වෙන්නේ ක්‍රියා පද වර්ගීකරණයකි.

Post a comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *