කාර්මික විප්ලවයේ ප්‍රබෝධය

බ්‍රිතාන්‍යයයේ කාර්මික විප්ලවය පහත දැක්වෙන පරිදි ප්‍රධාන කර්මාන්ත තුනක් ඇසුරින් සිදු විය.

  • පේෂ කර්මාන්තය
  • යකඩ හා වානේ කර්මාන්තය
  • ගල් අඟුරු කර්මාන්තය

මෙම ක්ෂේත්‍රවල ඇති වූ වර්ධනය ක්‍රමයෙන් ප්‍රවාහන, සන්නිවේදන හා කෘෂිකර්මය ආදි වෙනත් ක්ෂේත්‍රවල දියුණුවට ද හේතු වී ඇත.

පේෂ කර්මාන්තය

බ්‍රිතාන්‍ය රෙදිපිළිවලට යටත් විජිතවලින් ඉහළ ඉල්ලුමක් පැවති බැවින් රෙදිපිළි නිෂ්පාදනය ශීඝ්‍ර කිරීම එරට රෙදිපිළි නිෂ්පාදකයන්ට අභියෝගයක් විය. වර්ෂ 1733 දී ජෝන් කේ විසින් දුවන නඩාව (flying Shuttle) නිපදවනු ලැබීම නිසා රෙදි විවීම තරමක් වේගවත් විය.

එහෙත් රෙදි විවීමට අවශ්‍ය නූල් සැකසීම වේගවත් නොවීම තවදුරටත් ගැටලුවක්ව පැවතිණ. එවකට පැවති තත්ත්වය අනුව නූල් කටින්නන් හය දෙනෙකු විසින් දිනකට සපයන ලද නූල් ප්‍රමාණවත් වූයේ එක් රෙදි වියන්නෙකුට එක් දිනකට පමණි. මේ නිසා නූල් කැටීම වේගවත් කිරීම ගැන බි්‍රතාන්‍යන් තුළ උනන්දුවක් ඇති විය. එම උනන්දුවේ ප්‍රතිඵලයක් වශයෙන් ජේම්ස් හාග්‍රීව්ස් නැමැත්තා විසින් 1764 වර්ෂයේ දී කපු කැටීම සඳහා ජෙනී නැමැති යන්ත්‍රයක් නිපදවන ලදි. මෙම යන්ත්‍රය අතින් ක්‍රියා කරවන්නක් විය. පසුව 1769 දී රිචඩ් ආර්ක්රයිට් ජල බලයෙන් ක්‍රියා කරන, ඊට වඩා කාර්යක්ෂම නූල් කටින යන්ත්‍රයක් නිපදවී ය. එය ජල රෝදය ලෙස හඳුන්වන ලදි. ඊට පෙර කපු කැටීම සඳහා යොදා ගත් යන්ත්‍ර දෙස බලන විට ආර්ක්රයිට්ගේ සොයාගැනීම වැදගත් එකකි. එහෙත් එම යන්ත්‍රය විශාල වූ බැවින් නිවෙස් තුළ භාවිතය දුෂ්කර විය. එසේ ම එය ක්‍රියාත්මක කරවීමට වේගවත් ජල දහරාවක් අවශ්‍ය වූ බැවින් එය භාවිත කළ හැකි වූයේ ජල පහසුකම් සහිත ස්ථානවල පමණි.

ජෙනී යන්ත්‍රය හා ජල රෝදය යන යන්ත්‍ර දෙකෙහි ම මූලධර්ම ප්‍රයෝජනයට ගත් සැමුවෙල් කොම්ප්ටන් 1776 වර්ෂයේ දී පමණ මියුල් යන්ත්‍රය නමින් නව යන්ත්‍රයක් නිපදවී ය. එමගින් වඩාත් සියුම් හා ශක්තිමත් ලෙස නූල් සකසා ගත හැකි විය. අනතුරුව 1785 වර්ෂයේ දී පමණ එඩ්මන්ඩ් කාර්ට්රයිට් නැමැත්තා විසින් මියුල් යන්ත්‍රය වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක කරවීමේ ක්‍රමයක් සොයා ගන්නා ලදි. මේ අනුව වසර 30ක පමණ කාලයක දී කපු කැටීම ඉතා කාර්යක්ෂම කර ගැනීම සඳහා අලුත් යන්ත්‍ර සූත්‍ර මෙන් ම නව තාක්ෂණික ක්‍රම ද සොයා ගත හැකි විය. මේ නිසා රෙදි විවීමේ කර්මාන්තය කෙටි
කාලයක් තුළ විශාල විපර්යාසයකට ලක් විය.

යකඩ හා වානේ කර්මාන්ත

බ්‍රිතාන්‍යය යපස් නිධි බහුල රටකි. කාර්මික විප්ලවයට පෙර සිට ම අවි ආයුධ, ගෘහ උපකරණ හා කෘෂි උපකරණ සෑදීමට බ්‍රිතාන්‍යයන් යකඩ හා වානේ නිපදවී ය. මේ සඳහා යපස් උණු කරන ලද්දේ දර භාවිතයෙනි. එහෙත් කාර්මික විප්ලවයත් සමඟ මහා පරිමානයෙන් යන්ත්‍ර සූත්‍ර සෑදීමට යකඩ හා වානේ අවශ්‍ය වූ හෙයින් දර භාවිතයෙන් අවශ්‍ය ප්‍රමාණය නිපදවීමට නොහැකි විය.

මේ නිසා ඒ සඳහා වෙනත් විකල්ප මාර්ග සෙවීමට සිදු විය. වර්ෂ 1730 වර්ෂයේ දී ඒබ්‍රහම් ඩර්බි විසින් ගල් අඟුරු යොදා යපස් උණු කිරීමේ ක්‍රමය සොයා ගන්නා ලදි. මෙමඟින් වාත්තු කළ යකඩ නිපදවීමට හැකි විය. වර්ෂ 1784 දී හෙන්රිකෝට් රෝලර් යන්ත්‍රය නිපදවීම නිසා තැළිය හැකි යකඩ හෙවත් පදම් කළ යකඩ නිපදවීමට අවස්ථාව ලැබිණි. වර්ෂ 1856 දී හෙන්රි බෙසමර් විසින් යකඩවල ඇති අප ද්‍රව්‍ය ඉවත් කර වානේ නිපදවිය හැකි නව ක්‍රමයක් සොයා ගන්නා ලදි. මෙම ක්‍රමය තවත් වර්ධනය කර 1860 වර්ෂයේ දී විවෘත උදුන් ක්‍රමය සොයා ගැනීමෙන් උසස් තත්ත්වයේ වානේ නිපදවීමට හැකියාව ලැබුණි. මේ ක්‍රමයෙන් ලාභදායී මෙන්ම ඉක්මනින් ද වානේ නිපදවීමට හැකි විය. වර්ෂ 1870 දී යකඩ හා වානේ කර්මාන්තයේ දියුණුවට හේතු වූ තවත් කරුණක් වූයේ විලියම් සීමන්ස් යපස් උණු කිරීමට විදුලි උදුනක් සකස් කිරීම ය. මෙම නව නිපදවීම් මගින් යකඩ හා වානේ කර්මාන්තයේ ශීඝ්‍ර දියුණුවක් ඇති විය.

ගල් අඟුරු කර්මාන්තය

බි්‍රතාන්‍යය ගල් අඟුරු ආකාරවලින් ද බහුල රටකි. දකුණු වේල්ස්, යෝක්ෂයර්, ලැන්කැෂයර් ගල් අඟුරු ආකර සහිත ප්‍රදේශ කිහිපයකි. යපස් උණු කිරීම, යන්ත්‍ර සූත්‍ර ක්‍රියා කරවීම හා ගේ දොර භාවිතයට ලාභදායි හා කාර්යක්ෂම බලශක්තියක් ලෙස ගල් අඟුරු ජනප්‍රිය විය. කාර්මික විප්ලවයත් සමග ගල් අඟුරු සඳහා ඉල්ලුම වැඩි වුවත් ගල් අඟුරු කැණීම පහසු නොවී ය. කැණීමේ දී එකතු වන ජලය ඉවත් කිරීම, ගැඹුරට කැණීමේ දී ආකර පතුලේ විෂ වායු වර්ග තිබීම, ආකර පතුලේ උෂ්ණත්වය වැඩි වීම, ආකර තුළට ආලෝකය සැපයීම වැනි ගැටලු සඳහා විසඳුම් සෙවීමට නව නිපදවීම් කීපයක් ම සොයා ගැනිණි.

වර්ෂ 1735 දී තෝමස් නිව්කොමන් විසින් ආකරවල ජලය නල මගින් ඉවත් කිරීමට හා වාතය කෘත්‍රිම ලෙස සිසිල් කිරීමට වාෂ්ප එන්ජිමක් සොයා ගන්නා ලදි. එහෙත් නිව්කොමන්ගේ වාෂ්ප එන්ජිම ඵලදායිතාවෙන් අඩු එකක් වූ අතර එය ගල් අඟුරු කර්මාන්තයට තරම් වත් සෙසු කර්මාන්තවලට යොදා ගැනීම අපහසු විය. මේ නිසා ජේම්ස් වොට් 1736 වර්ෂයේ දී නිව්කොමන්ගේ වාෂ්ප එන්ජිම වැඩි දියුණු කොට වඩා විධිමත් වාෂ්ප එන්ජිමක් නිපදවී ය. එය සියලු කර්මාන්තවලට යොදා ගත හැකි කාර්යක්ෂම එන්ජිමක් විය.

වර්ෂ 1812 දී හම්ප්‍රි ඩේව් විසින් ආරක්ෂක ලාම්පුව නිපදවීම නිසා ආකරවලට ආලෝකය ලබා ගැනීම සම්බන්ධව පැවැති ගැටලු ව ද නිරාකරණය විය. මෙතෙක් කල් තඹ කම්බි යොදා ගැහැනුන් හා ළමුන් ලවා දුෂ්කර අන්දමින් සිදු කළ ගල් අඟුරු ආකරවලින් පිටත ගැනීමේ ක්‍රමය වෙනුවට වර්ෂ 1839 දී යකඩ කේබල් කම්බි මඟින් ආකරවලින් ගල් අඟුරු පිටතට ගෙන ඒමේ ක්‍රමයක් සොයා ගැනිණි.

ගල් අඟුරු කර්මාන්තයේ ඇති වූ දියුණුව නිසා එමඟින් අතුරු ප්‍රතිලාභ රැසක් හිමි විය. ගල් අඟුරු පිළිස්සීමෙන් ලැබෙන ගල් තාර මහාමාර්ග ඉදිකිරීම සඳහා යොදා ගැනිණි. ගල් අඟුරු මඟින් රෙදිපිළි සායම් කිරීමට අවශ්‍ය සායම් වර්ග නිෂ්පාදනය කිරීමට ද හැකි විය. ඖෂධ, සුවඳ විලවුන්, තෙල් හා පොහොර නිපදවීමට ද ගල් අඟුරු යොදා ගැනිණි.

කාර්මික විප්ලවයේ ව්‍යාප්තිය

Post a comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *