අතීතයෙන් කථාවක්

අපට විවිධ සමාජ අවස්ථාවන්ට සහභාගි වෙමින් අදහස් පළ කිරීමට සිදු වෙයි. එවිට අදාළ අවස්ථාව හා ඊට සම්බන්ධ වන පුද්ගලයන් මෙන් ම ශ්‍රාවකයා අනුව ද යෝග්‍ය පරිදි ද අදහස් ඉදිරිපත් කළ යුතු ය. ක්‍රිස්තු පූර්ව තෙවන සියවසේ සිදු වූ මහින්දාගමනය දිවයිනේ ආගමික ඉතිහාසයේ මෙන් ම සමාජ – ආර්ථික හා සංස්කෘතික ක්ෂේත්‍රයන්හි ද සන්ධිස්ථානයක් බව අවිවාදයෙන් පිළිගැනේ. මිහිඳු මාහිමියෝ පණස් වසරක පමණ කාලයක් මේ දිවයිනෙහි වැඩ වෙසෙමින් ධර්ම ශාස්ත්‍රීය හා ශාසනික සේවාවක් ඉටු කළහ. උන් වහන්සේ අපවත් වන විට මෙරට පාලකයා වූයේ මහින්දාගමනය සිදු වන විට ලක් රජය කළ දේවානම්පිය තිස්ස රජුගේ කනිටු සොහොවුරා වූ උත්තිය රජතුමා ය. මිහිඳු මාහිමිපාණන්ගේ ආදාහන පූජෝත්සවයේ දී උත්තිය රජතුමා විසින් කරන ලද ගුණ කථනයක් සේ ලියවුණු කල්පිත රචනයක් මේ පාඩමෙහි ඇතුළත් වෙයි. එය දිවයිනේ සමාජ-සංස්කෘතික මෙන් ම ආර්ථික ප්‍රගමනයෙහි ද පුරෝගාමියකු සම්බන්ධයෙන් රාජ්‍ය පාලකයකු කරන ඇගයීමකි. මේ කල්පිත දේශනය ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යේෂ්ඨ නිලධාරියකු වන ආචාර්ය ආනන්ද ගුරුගේ විසින් රචිත Voices from Ancient Sri Lanka රස ඛ්බන් නම් ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය වන හෙළදිව අතීත ප්‍රතිරාව කෘතියෙන් (පරිවර්තනය අභය හේවාවසම්) උපුටා ගන්නා ලදි.

(ක්‍රි.පූ. 199 දී පමණ අනුරාධපුරයේ දී)
“ඒ මිහිපල් තෙමේ සතියක් පුරා නා නා පූජා සත්කාර කරවා, තෙරුන්ගේ බද්ධමාලක නම් තැන සුවඳ දර සෑයක් කරවා, 
මනරම් කුළු ගෙය එහි පමුණුවා… දර සෑයෙහි තබ්බවා අවසන් ගරු බුහුමන් කළේ ය.”
                                           (මහාවංසය - XX, 29-44)

අද අප මෙහි රැස් ව සිටිනුයේ රාජදූත මෙහෙවරෙහි යෙදෙමින් බුදුදහම මෙහි රැගෙන පැමිණි මහින්ද මා හිමිපාණන්හට අවසන් බුහුමන් දැක්වීම පිණිස ය. උන් වහන්සේ ඉතා ළඟින් ඇසුරු කළ මා වැන්නවුන් පමණක් නො ව, අඩ සිය වසක් තිස්සේ උන් වහන්සේගේ සිල්වත් මෙන් ම බුද්ධිමත් මඟ පෙන්වීම යටතේ මෙහෙයවුණු රටවැසියන්ගේ සෝබර මුහුණු දකින විට අද දින ශෝක දිනයක් හැටියට ප්‍රකාශයට පත් කළ යුතු ව තිබිණ. එහෙත් උන් වහන්සේ විසින් මෙන් ම, සෙසු නැණවත් හිමිවරුන් විසින් ද යළි යළිත් වදාරනු ලැබූ පරිදි, මරණය වූකලි සොවින් වැලපීමට අවස්ථාවක් නො ව, පැවැත්මේ අනිත්‍යය මෙනෙහි කර සංවේග උපදවා ගැනීමට අවස්ථාවක් බව අවබෝධ කර ගත් නිසා එසේ අද දින ශෝක දිනයක් හැටියට ප්‍රකාශයට පත් කිරීමෙන් වැළකී සිටියෙමි.

එහෙත් මිහිඳු මහ රහතන් වහන්සේ පිළිබඳ සැනසීමට කරුණක් වන්නේ උන් වහන්සේ මේ වේදනාකාරී සංසාර චක්‍රයෙන් මිදී සදාතනික සුවය ගෙන දෙන අමා මහ නිවනට සැපත් වීම යි. මහින්ද මහ තෙරුන් වහන්සේ සහ උන් වහන්සේගේ ශ්‍රාවක පිරිස අනුරාධපුර නගරයට සපැමිණි දිනය මා මනසෙහි ඉතා පැහැදිලි ව සටහන් වී තිබේ. මම එවකට කොලු ගැටයෙක්මි. රජ මැඳුරේ සිටි අපි සියලු දෙනා ම මහත් සේ කුතූහලයට පත් වී සිටියෙමු. එයට පෙර දින උන් වහන්සේ මිස්සක පවුවේ පෑ පෙළහර පිළිබඳ බොහෝ දෑ අප අසා තිබිණ.
මාගේ වැඩිමහල් සෝවුරු තිස්ස මහ රජතුමා ඒ දඩයම් චාරිකාවෙන් පෙරළා පැමිණි පසු, ඒ සිද්ධිය හැර අන් කිසි දෙයක් පිළිබඳ කථා නො කෙළේ ය. එතුමාගේ පිරිවර සේනාවේ සිටි අයට ද මේ සම්බන්ධ ව හැර අන් කරුණක් පිළිබඳ කථා කිරීමට සිහියක් නොතිබුණාක් මෙනි. ඒ සෑම අයෙක් ම එක් කරුණක් පිළිබඳව ඒකමතික තීරණයකට එළඹ සිටියහ.
එ නම්, ඔවුන් ද වඩාත් පුළුල් ලෙස ගත හොත් මුළු දිවයින ද මෛත්‍රිය මුල් කොට පැන නැඟුණු ආධ්‍යාත්මික ධර්මතාවක ග්‍රහණයට හසු වී ඇති හෙයින් එයින් විශාල වෙනස්කමක්
මින් පසු සිදු වන බව යි.

රාජ සභාවෙන් අඩකටත් වැඩි ප්‍රමාණයක් දෙනා දැනටමත් තම කීර්තිය සහ බලය සහිත තනතුරු අත්හැර දමා තවුස්දම් පිරීමේ අභිලාෂය පළ කොට ඇත. ප්‍රධාන ඇමති මහාතිත්ථ තම නැන්දණියන් වන අනුලා බිසවුන්ට මෙසේ කීවේ යථ “නැන්දණියනි, මම මහ වනාන්තරයේ අලි ඇල්ලීමේ යෙදී සිටින්නෙක් නම්, සාමාන්‍ය ඇතුන්ගේ අඩි සලකුණු අතර, සුවිශේෂ විසල් අඩි සලකුණු දුටුව හොත් මා අනිවාර්යයෙන් ම හඹා යන්නේ ඒ විසල් අඩි සහිත හස්ති රාජයා ය. නැන්දණියනි, මම ඒ හස්ති රාජයා අල්ලා ගැනීමේ මාර්ගය අවබෝධ කර ගෙන සිටිමි. ඒ සතා හඹා යෑමේ දී මාහට අත්විඳින්නට සිදු වන සැම දුෂ්කරතාවකට ම මට අවසානයේ දී වන්දි ලැබෙනු ඇත.” අප බොහෝ දෙනකු සිතුවේ ඔහුගේ මේ අභිලාෂය, තමා මීට පෙර ධර්මාශෝක රජතුමාගේ රාජසභාවට ගිය දූත ගමනේ දී, බුදු රජාණන් වහන්සේගේ කාරුණික ඉගැන්වීම් පිළිබඳව අසා දැන ගැනීමෙන් ඇති වූ දෙයක් ලෙස ය.

කෙසේ වුව ද, ඒ කුඩා කාලයේ සිතෙහි උන් වහන්සේ කෙරෙහි ඇති වූයේ අතිගම්භීර, පූජනීය, මහා පුරුෂයකු පිළිබඳ හැඟීමකි. මේ දිවයිනේ මහා රාජෝත්තමයාණන් මේ තරම් ගරු සැලකිලි දැක්වූ අන් අය කවුරු ද? ඒ නිසා එදින මහා තෙරණුවන් නගර ද්වාරය අසල දී පිළිගනු ලබද්දී එතුමන් අසල සිටීමට මම වග බලා ගත්තෙමි. අප එසේ උන් වහන්සේගේ සම්ප්‍රාප්තිය අපේක්ෂාවෙන් නගර ද්වාරයේ සිටින විට තිස්ස මහ රජතුමා පෙර දින සැන්දෑවේ වූ සිදු වීම පිළිබඳව ද තමන්ගේ බුද්ධි මහිමය උරගා බැලීමට අසනු ලැබූ ප්‍රශ්න පිළිබඳව ද පුන පුනා කියද්දී උන් වහන්සේ කෙරෙහි මා සිතහි වූ කුතූහලය අහස උසට නැඟුණේය.

එදින මා හිමියන් රජ වාසලේ දී පැවැත්වූ ධර්ම දේශනය විශේෂයෙන් ම කාන්තාවන් සහ දරුවන් අරභයා කරන ලද්දකි. යහපත් දෑ කිරීමෙන් යහපත් ප්‍රතිඵල ලැබීමත් අයහපත් දේ කිරීමෙන් අයහපත් ප්‍රතිඵල ලැබීමත් අරමුණු කර ගනිමින් උන් වහන්සේ දහම් දෙසූහ. සෑම පුද්ගලයකු ම තමන්ගේ ඉරණමේ නිර්මාතෘවරයා බව පවසමින් කර්මය පිළිබඳ ඉතා සරල ව පැවසූ කරුණු කුඩා දරුවකු හැටියට මට ද කිසි ආයාසයකින් තොර ව වැටහිණි. උන් වහන්සේගේ ශාන්ත ඉරියව් මා සිත් ගත් අතර, තමන් දෙසූ දහම එහි සිටියවුනට වැටහිණි ද යන්න පිළිබඳව උන් වහන්සේ නිරන්තරයෙන් සැලකිලිමත් වූහ. දින ගණනාවක් තිස්සේ, කිසිවක් නොතේරෙන ගී ස්තෝත්‍ර ගායනාවලට ද එමෙන් ම ඉමක් කොනක් නැති පූජා විධිවලට ද හුරු පුරුදු ව සිටි කුඩා අපට, එම අලුත් දෑ තුළ ඉතා තුටු පහටු බවක් හා නවතාවක් විය. තමන් වහන්සේ දෙසූ දෑ අප විසින් වටහා ගැනීම උන් වහන්සේගේ පැතුම විය.

එසේ නැතිව යාග හෝම හෝ ඉන්ද්‍රජාල බලයකින් කරන දෑ මෙහි නැති. උන් වහන්සේ ඉතා වෙහෙස වී වැඩ පළෙහි යෙදුණාහ. විවිධ ශ්‍රාවකයන් සඳහා උන් වහන්සේ සෑම දිනයෙක ම ධර්ම දේශනා කිහිපයක් පැවැත්වූහ. ඒ අතර ම උන් වහන්සේ තම පිරිවර සමග ගෙන් ගෙට පිඬු සිඟා වැඩි සේක. මේ අතර තිස්ස මහ රජතුමා සමඟ එක් ව අනුරාධපුර ඉදි වන පළමු බොදු අසපුව පමණක් නො ව, ඉදිරි සියවස් කිහිපය සඳහා බෞද්ධ දර්ශනය කියා පෑමේ මූලස්ථානය ද අග නගරයෙහි පිහිටුවීමට තුළ සැලසුම් කළහ.

එදා මහින්ද මහ තෙරණුවන්, ඒ විචිත්‍රවත් උත්සවයේ දී මහා විහාරය සඳහා මඟුලැතු විසින් අදින ලද රන් නඟුලකින් සීමා සලකුණු කළ අවස්ථාවේ මෙහි සිටින කී දෙනකු එහි සිටියා දැයි මම නො දනිමි. මෙයට වසර හතළිස් අටකට පෙර, එදා, ඒ විසල් භූමි භාගය පිරී යන ලෙස ගොඩනැඟිලි කිසි දාක හෝ ඉදි වේ දැයි සාධාරණ සැකයක් මා තුළ විය. එහෙත් අද, උන් වහන්සේගේ නිර්මාණශීලිත්වය සහ සූක්ෂ්ම සැලැසුම් ක්‍රම සඳහා දෙස් දෙමින් ඒ විශාල භූමි භාගය වසා පැතිරී ඇත්තේ මහා විහාරයයි. ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කිරීම සඳහා බිම වෙන් කිරීමේ දී උන් වහන්සේ විසින් පෙන්වනු ලැබූයේ පුදුම කුසලතාවකි. මෙසේ බිම් වෙන් කරද්දී මෙයට සියවසකට පසු රජවාසල සෑදීමට තීරණය කරනු ලබන ස්ථානය දක්වා ම පැමිණියෝ ය. පියවරෙන් පියවර ගොඩනැඟිලි ඉදි වෙද්දී උන් වහන්සේගේ මනසෙහි මේ ගොඩනැඟිලි සංකීර්ණය පිළිබඳ නිරවුල් අදහසක් තිබූ බව මාහට සහ මගේ සහෝදර රජතුමාට පෙනිණි.

එපමණක් නො ව, බෝධීන් වහන්සේ සඳහා ද මහා ස්තූපය සඳහා ද මෙහෙණියන්ගේ ආශ්‍රම සඳහා ද දාන ශාලා සඳහා ද උන් වහන්සේගේ සැලසුමේ ඉඩකඩ වෙන් වී තිබිණි. පූජා භූමිය වෙන් කිරීමේ කටයුතු සතියකින් නිම කිරීමට උන් වහන්සේ සමත් වූහ. අප සිතූයේ බිම ඒ ඒ ගොඩනැඟිලි සඳහා වෙන් කළ පසු උන් වහන්සේ තමන් වහන්සේ සහ පිරිවර සංඝයා සඳහා සැප පහසු සංඝාවාසයක් නොපමා ව ඉදි කරනු ඇත කියායි. එක් අතකින් උන් වහන්සේ රජ පවුලක සුඛෝපභෝගි ජීවිතයක් ගත කළ අයකු නිසාත් අනෙක් අතට ධර්මාශෝක රජතුමා දඹදිව වැඩ වසන සඟුන් සඳහා බොහෝ සැප සම්පත් ලබා දෙන නිසාත් අප එසේ සිතීම සාධාරණ විය. එහෙත් මහා විහාර භූමිය සලකුණු කළ වහා ම සිදු වූයේ කුමක් ද?
උන් වහන්සේ නැවත, කුඩා ගල් ගුහා කිහිපයක් තිබෙන මිස්සක පව්ව බලා වැඩම කළ සේක. වැසි සමයේ මේ ගල් ගුහාවල වාසය කිරීමට උන් වහන්සේට ඇවැසි විය. මේ වන විට මහ රජු මා හිමියන් කෙරෙහි සීමා රහිත භක්තියකින් වෙළී සිටියේ ය. වියදම සහ මහන්සිය නොබලා සුඛෝපභෝගි ප්‍රාසාදයක් වුව ද සාදා දීමට එතුමා ඉදිරිපත් විය. එහෙත් මා හිමියන් ඉල්ලා සිටියේ තමන් වහන්සේ ස දෙනාට පමණක් නො ව, මෙරට පැවිදි බිමට එකතු වන ප්‍රථම පනස් ස දෙනාටත් ප්‍රමාණවත් වන පරිදි තව ගල් ගුහා එළි පෙහෙළි කොට පිරිසිදු කොට දෙන ලෙස පමණි. වස්සාන සමය එළැඹීමත් සමග ම රහතන් වහන්සේලා සැට දෙනමක්, මේ ලෙන් විහාර තුළට වී, එතැන් සිට දිවයිනේ සාමාන්‍ය සිද්ධියක් වූ වස් වැසීම ආරම්භ කළ අතර, ඒ කාලය තුළ දී ධර්මය ඉගැන්වීම, අර්ථ විවරණය කිරීම සහ සාහිත්‍ය ක්‍රියාවන්ගෙන් සමන්විත වූ සංකීර්ණ ක්‍රියාවලියක් ආරම්භ විය. උචිත පරිද්දෙන් ම මේ කඳුකරය, ආරාම කඳුකරය හැටියට හඳුන්වන ලදි. මා වඩාත් භාග්‍ය සම්පන්න වූයේ මා හිමියන්ගේ ම මූලිකත්වය යටතේ මාගේ අධ්‍යාපන කටයුතු ද ඒ වකවානුවේ ම ආරම්භ වූ හෙයිනි.

අධ්‍යාපනය ලබා දීම සඳහා මහා සංඝයා වහන්සේ උපයෝගි කර ගත් විශේෂ ක්‍රමවේදය මාගේත් සෙසු සම වයස් අයගේත් සිත් තදින් ඇද ගති. මහා සංඝරත්නය සමග නිරන්තරයෙන් ගැටෙමින් ජීවත් වූ නිසා හුදෙක් ආගමික සහ අධ්‍යාපනික අරමුණුවලින් ඔබ්බට ගිය මහා තෙරුන් වහන්සේගේ සැලසුම් පිළිබඳ පෞද්ගලික ව ම දැනුම් තේරුම් ඇති කර ගැනීමට හැකි විය. තම පියාණන් වූ අශෝක අධිරාජ්‍යයා ලවා ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් මෙරටට වැඩම කරවීමට කටයුතු සම්පාදනය කිරීමත් සමග ම විශිෂ්ට බුද්ධියක් සහ කුසලතා දක්ෂතා ඇති බොහෝ දෙනකු මෙරටට ආගමනය වීම සඳහා පදනම බිහි වූ අතර, ඒ නිසා අප රට තුළ සිදු වූ සංස්කෘතික, සමාජීය සහ තාක්ෂණ දියුණුව ඉතා විශිෂ්ට විය. මේ සිදුවීමට මුල් වූයේ මහ තෙරුන් වහන්සේගේ නැඟණියන් වූ සංඝමිත්තා මහ තෙරණියන් වීම විශේෂ සංසිද්ධියකි.

සංඝමිත්තා මෙහෙණින් වහන්සේ සමඟ සපිරිවරින් පැමිණි උගත්තු, පරිපාලකයෝ, ව්‍යාපාර ප්‍රධානියෝ, වෙළෙන්දෝ, කලාකරුවෝ සහ තාක්ෂණික ශිල්පීහු අප රට සංවර්ධන කේන්ද්‍රස්ථානයක් බවට පත් කළහ. දැනට දශක පහක් ගෙවී යෑමට ආසන්න ව ඇති අතර, එක් අතකින් අපගේ ආර්ථිකයට ද අනෙක් අතින් සමාජ ස්තරයට ද ඔවුන්ගේ පැමිණීම කෙසේ බලපෑවේ දැයි විමර්ශනය කිරීමට සුදුසු අවස්ථාවක අපි සිටිමු. අද අප තාක්ෂණික වශයෙන් මනා පදනමක සිටින අතර, ජනගහනය විවිධාංගීකරණය වී තිබේ. මෙසේ මිහඳු හිමියන්ගේ දීර්ඝකාලීන කැප වීමේ ප්‍රතිඵලයක් වශයෙන් අප රටට සිදු වූ යහපත විශිෂ්ට සම්පතකැයි විවාදයෙන් තොරව පිළිගත යුතු ය. මෙහි අද රැස් ව සිටින සියල්ලෝ ම ඒ රාජකීය දූත මෙහෙවර නිසා සිදු වූ විප්ලවයේ විපුල ඵල භුක්ති විඳින අයයි. මහ තෙරණුවන්ගේ සේවාවේ ප්‍රතිඵල සියවස් ගණන්, නැත; අවුරුදු දහස් ගණන් ජනතාවට ලැබෙන අතර ඒ සේවාව වෙනත් රටවල් කරා ද පැතිර යනු ඇත. සාමාන්‍යයෙන් මෙවන් අවස්ථාවක කරනු ලබන්නාක් මෙන් මිහිඳු මහ හිමිඳුන්ට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමට මට නොහැකි ය. මන්ද? උන් වහන්සේ තමන්ගේ උත්සාහය මඟින් නිවනට ගොස් සිටින බැවිනි.

Post a comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *