1910 ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයෙන් ලාංකිකයන්ගේ ඉල්ලීම් ඉටු වී නොතිබිණි. ඒ පිළිබඳ මධ්‍යම පන්තිකයන් තුළ අප්‍රසාදයක් පැවතුණි. එමෙන් ම 1912 වසරේ දී රජය රා තැබෑරුම් පිහිටුවීමට අවසර දෙමින් නව සුරාබදු පනතක් පැනවීම නිසා අමද්‍යප උද්ඝෝෂණයක් ආරම්භ විය.
බි්‍රතාන්‍ය පාලන සමයේ රට තුළ මත්පැන් පානය ඉහළ යාම නිසා ආගමික පුනරුද ව්‍යාපාරය තුළින් අමද්‍යප ව්‍යාපාරයකත් ආරම්භ වූ ආකාරය තුන්වන පාඩමේ දී විස්තර කෙරිණි. ආගමික පුනරුදය හා බැඳි අමද්‍යප කටයුතුවල අරමුණ වූයේ මත්පැන් පානයේ ඇති වූ විපාක ජනතාවට පැහැදිලි කර දී ඔවුන් ඉන් මුදවා ගැනීමයි. එහෙත් 1912 අමද්‍යප උද්ඝෝෂණය රජයේ සුරාබදු ප්‍රතිපත්තියට එරෙහිව පැන නැගුණි. එහි දී මූලිකත්වය ගෙන කටයුතු කළේ 1910 ප්‍රතිසංස්කරණයෙන් තම ඉල්ලීම් නොලැබීම නිසා අසතුටු වූ මධ්‍යම පන්තිකයන් ය. මේ නිසා 1912 අමද්‍යප උද්ඝෝෂණය වඩාත් දේශපාලන නැඹුරුවක් සහිත ව්‍යාපාරයක් බවට පත් විය. එම අමද්‍යප උද්ඝෝෂණයේ කැපී පෙනෙන ලක්ෂණ කිහිපයක් පහත දැක්වේ.
- රජයේ සුරාබදු ප්‍රතිපත්තියට එරෙහිව මහජන මතයක් ඇති කිරීමට උත්සාහ දැරීම.
- මධ්‍යම පන්තික ඉංග්‍රීසි උගතුන් හා ආගමික පුනරුදයේ ක්‍රියාකාරිකයන් යන දෙකොටසම එක අරමුණකින් කටයුතු කිරීම.
- කොළඹ මධ්‍යම අමද්‍යප සභාවක් පිහිටුවා රට පුරා ශාඛා ආරම්භ කර අමද්‍යප සමිති ජාලයක් ගොඩ නැගීම.
- අමද්‍යප වේදිකාවේ දී ආණ්ඩුවේ කටයුතු විවේචනය වීම.
1912 අමද්‍යප උද්ඝෝෂණ නිසා ඇතැම් ප්‍රදේශවල සුරාසැල් වැඩී ගිය අතර අලුතෙන් සුරා සැල් පිහිටුවීමට ස්ථාන ලබා ගැනීමටත් දුෂ්කර වූ බව වාර්තාවේ. මෙසේ අමද්‍යප ව්‍යාපාරයේ කටයුතු සාර්ථක වීමත්, අමද්‍යප සමිති හරහා ජනතාව සංවිධානය වීමත් අමද්‍යප වේදිකාවේ දී ආණ්ඩුව විවේචනය වීමත් නිසා රජය එම ව්‍යාපාරය අඩපන කර දැමීමට අවස්ථාවක් සොයමින් සිටියේ ය. තත්ත්වය මෙසේ තිබිය දී 1915 දී මහනුවර ප්‍රදේශයේ සිංහල හා මුස්ලිම් ජනතාව අතර ගැටුමක් ඇති විය. එය මුස්ලිම් සිංහල කෝලාහලය ලෙස හැඳින්වේ. ගැටුම ව්‍යාප්ත වීමට ඉඩහැරි රජය එය අවස්ථාවක් කරගෙන අමද්‍යප ව්‍යාපාරය මර්ධනය කිරීමට යොමු විය. එහි දී රජය අමද්‍යප නායකයන් රැසක් අත් අඩංගුවට ගෙන සිංහල පුවත් පත් කිහිපයක් ද තහනම් කළේ ය. මෙම මර්ධනය හමුවේ අමද්‍යප ව්‍යාපාරයේ කටයුතු අඩපන විය. එහෙත් අමද්‍යප කටයුතු හරහා දේශපාලනයට පැමිණි එෆ්.ආර්.සේනානායක, ඩී. එස්. සේනානායක හා සර් ඩී.බී ජයතිලක වැනි නායකයෝ පසුව ජාතික නායකයන් වශයෙන් නමක් දිනා ගත්හ.
Responses