බ්‍රිතාන්‍යයන් ආසියාවට පැමිණීම

පෘතුගීසීන් හා ලන්දේසීන් ආසියාවේ වෙළෙඳ කටයුතුවලින් විශාල වශයෙන් ලාභ ලබන බව දුටු ඉංග්‍රීසීහු ද ආසියාව කෙරෙහි තම අවධානය යොමු කළහ. ඒ අනුව බ්‍රිතාන්‍යයේ පළමුවන එළිසබෙත් රැජිනගෙන් රාජකීය බලපත්‍රයක් මගින් ආසියාවේ වෙළෙඳ කටයුතු පවත්වාගෙන යාමට අවසර ලබාගෙන, ඉංග්‍රීසි ව්‍යාපාරිකයන් පිරිසක් විසින් වර්ෂ 1600 දෙසැම්බර් මස ඉංග්‍රීසි පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගම පිහිටුවන ලදි. එම වෙළෙඳ සමාගමේ පළමුවන නැව් කණ්ඩායම සුමාත්‍රා දූපත් ප්‍රදේශයට ගොස් එහි වෙළෙඳ කටයුතු ආරම්භ කර ඇත. මීට පසු විලියම් හෝකින්ස් යටතේ තවත් නැව් කණ්ඩායමක් ඉන්දියාවට පැමිණ එවකට ඉන්දියාවේ මූගල් අධිරාජයා වූ ජහන්ගීර් සමග වෙළෙඳ කටයුතු පිළිබඳ ව සාකච්ඡා පැවැත්වී ය.

ඉංග්‍රීසීහු ආසියාවට පැමිණි මුල් කාලයේ අග්නිදිග ආසියාතික ප්‍රදේශ සමග තම වෙළෙඳ සබඳතා තර කර ගැනීමට උත්සාහ කළෝ ය.

17 වන සියවසේ මුල් දශක දෙක තුළ අග්නිදිග ආසියාවේ වෙළෙඳ බලය ගොඩනගා ගැනීමට පෘතුගීසීන් හා ලන්දේසීන් අතර ගැටුම් ඇති වී තිබුණි. මෙහි දී ඉංග්‍රීසීන් ඇතැම් අවස්ථාවල පෘතුගීසීන්ට එරෙහිව ලන්දේසීන් සමග සහයෝගයෙන් ක්‍රියා කර ඇත. මෙම දෙපක්ෂයේ පොදු හතුරා වූ පෘතුගීසීන්ට එරෙහි ව කටයුතු කිරීමට ලන්දේසීන් ඉංග්‍රීසින්ගේ සහය ලබා ගත්තත් අග්නිදිග ආසියාවේ කු`ඵ බඩු බහුල ව වැවෙන දූපත්වල ඉංග්‍රීසි බලයක් ගොඩනැගෙනු දැකීම ලන්දේසීන්ගේ අපේක්ෂාව නොවීය. මේ නිසා 1623 වර්ෂයේ දී කුළුබඩු දිවයින්වලට අයත් ඇම්බොයිනා දූපතේ බලකොටුවකට පහරදුන් ලන්දේසීහු එහි සිටි ඉංග්‍රීසීන් පිරිසක් ඝාතනය කළහ. ඊට එරෙහි ව ලන්දේසීන්ට ප්‍රතිප්‍රහාරයක් දීමට තරම් එම ප්‍රදේශයේ ඉංග්‍රීසි බලය ශක්තිමත් නොවූ හෙයින් අග්නිදිග ආසියාතික ප්‍රදේශවලින් ඉංග්‍රීසීහු ඉවත් වූහ. අනතුරුව ඔවුන් ඉන්දියාව කෙරෙහි සිය පූර්ණ අවධානය යොමු කළ බව පෙනේ.

ඉංග්‍රීසීන් 1607 වර්ෂයේ සිට ඉන්දියාව සමග වෙළෙඳ සබඳතා ගොඩනගා ගැනීමට උත්සාහ කළ නමුත් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට වසර දහයකට වැඩි කාලයක් ගත විය. ඉන්දියාවේ දී ඉංග්‍රීසීන් ඉතා උපායශීලී ව කටයුතු කළ නිසා 17 වන සියවසේ අග භාගය වන විට මදුරාසිය, බොම්බාය හා කල්කටාව ඇතු`ඵ ප්‍රදේශ කිහිපයක වෙළෙඳ මධ්‍යස්ථාන ආරම්භ කිරීමට ඔවුහු සමත් වූහ. එහෙත් 1664 වර්ෂයේ සිට ප්‍රංශවරුන් ද ඉන්දියාවට පැමිණ පොන්ඩිචේරි, කරිකාල් හා චන්ද්‍රනගර් වැනි ස්ථානවල වෙළෙඳ මධ්‍යස්ථාන පිහිටුවීමත් සමග ලන්දේසීන්ට අමතර ව ප්‍රංශවරුන් සමගත් වෙළෙඳ තරගයක නියළීමට ඉංග්‍රීසීන්ට සිදු විය. 18 වන ශතවර්ෂය වන විට ඉන්දියාවේ ස්වකීය බලය ගොඩනැගීම සම්බන්ධයෙන් ඉංග්‍රීසීන් හා ප්‍රංශවරුන් අතර දේශපාලන ගැටුමක් ඇරඹිණ.

Post a comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *