ශ්‍රී ලංකාව කෙරෙහි බ්‍රිතාන්‍යයයන්ගේ අවධානය යොමු වීම

ඉංග්‍රීසීන් ඉන්දියාවට පැමිණ ශතවර්ෂයකට වැඩි කාලයක් ගත වන තෙක් ශ්‍රී ලංකාව කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමු නොවූ බව පෙනේ. මේ කාලයේ දී ඉංග්‍රීසීන් ඉන්දියාවේ ශක්තිමත් බලයක් ගොඩනගාගෙන නොතිබීමත් පෘතුගීසීන් හා ඊට පසු ලන්දේසීන් දිවයිනේ මුහුදුබඩ ප්‍රදේශවල ශක්තිමත් බලකොටු පද්ධතියක් පවත්වාගෙන යෑමත් ඊට හේතු විණැයි සැලකිය හැකි ය. එහෙත් 18 වන සියවසේ මුල් භාගයේ දී ඉන්දියාවේ මූගල් අධිරාජ්‍ය පරිහානියට යෑමත් සමඟ එතෙක් වෙළෙඳාමෙන් පමණක් තෘප්තිමත් වූ ඉංග්‍රීසීහු ඉන්දියාවේ දේශපාලන බලය පැතිරවීම ඇරඹීමත් සමග ලංකාව කෙරෙහි ද ඔවුන්ගේ අවධානය යොමු විය. ඒ සඳහා ප්‍රධාන හේතු දෙකක් බලපෑ බව පෙනේ.

  1. ශ්‍රී ලංකාවේ පිහිටීම
  2. ශ්‍රී ලංකාවේ කුරුඳු ඇතු`ඵ වටිනා වෙළෙඳ ද්‍රව්‍ය ලබා ගැනීම

ශ්‍රී ලංකාව ඉන්දියාව ආසන්නයේ පිහිටා තිබීමත්, බෙංගාල බොක්ක ඇතුඵ ඉන්දියාව අවට මුහුදු කලාපයේ නාවික හා වෙළෙඳ කටයුතු පාලනයට ලංකාව හොඳ මධ්‍යස්ථානයක් වීමත් ඉංග්‍රීසීන්ට ඉතා වැදගත් විය. ඉංග්‍රීසීන් හා ප්‍රංශවරුන් අතර බෙංගාල බොක්ක ආශ්‍රිත ප්‍රදේශවල සටන් ඇති වූ අවස්ථාවල සතුරු ප්‍රහාර නිසා අබලන් වූ නැව් අලුත්වැඩියා කිරීමට සුදුසු වරායක අවශ්‍යතාව ඉංග්‍රීසීන්ට තදින් දැනුණි. මෙහි දී ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමල වරාය කෙරෙහි ඉංග්‍රීසීන්ගේ අවධානය නිතැතින් ම යොමු විය. ත්‍රිකුණාමල වරාය කෙරෙහි ඉංග්‍රීසීන්ගේ සැලකිල්ල යොමු වීමට බලපෑ කරුණු කිහිපයක් මෙසේ ය.

  • ™ ත්‍රිකුණාමල වරාය බෙංගාල බොක්කට මුහණ ලා පිහිටා තිබීම
  • ™ ඉන්දියාවේ නැගෙනහිර වෙරළේ ඉංග්‍රීසී නාවික බලය රැක ගැනීමට එම වරායේ පිහිටීම වැදගත් වීම
  • ™ ඊසාන දිග මෝසම් සුළං කාලයේ නැව් ආරක්ෂා කර ගැනීමට ත්‍රිකුණාමල වරාය යොදා ගත හැකි වීම

ඉන්දියාවේ ආරක්ෂාවට මෙන් ම ඉන්දියානු සාගරයේ නාවික කටයුතු මෙහෙයවීමටත් හොඳ මධ්‍යස්ථානයක් වූ ත්‍රිකුණාමල වරාය ප්‍රංශවරුන් අතට පත් වුවහොත් එය තමන්ට ඉතා අවාසිදායක බව ඉංග්‍රීසීහු දැන සිටියහ. මේ නිසා ලංකාවේ භූගෝලීය පිහිටීමේ වැදගත්කම හා ත්‍රිකුණාමල වරායේ විශේෂ වැදගත්කම ඉංග්‍රීසීන්ගේ අවධානය මෙරට කෙරෙහි යොමු වීමට තුඩු දුන් ප්‍රධාන හේතුවක් විය.

ශ්‍රී ලංකාව ඒ වන විටත් කුරුඳු ඇතුඵ කුඵබඩුවලට ප්‍රසිද්ධ රටක් විය. යුරෝපීය වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් තිබූ ඉස්තරම් වර්ගයේ කුරුඳු මෙරට නිෂ්පාදනය කෙරන බවත් කුරුඳු වෙළෙඳාමෙන් ලන්දේසීන් විශාල ලාභයක් ලබන බවත් ඉංග්‍රීසීහු දැන සිටියහ. මේ නිසා කුරුඳු වෙළෙඳාමේ ඒකාධිකාරය තමන් අතට ගැනීමට ඉංග්‍රීසීන්ට අවශ්‍ය වී තිබුණි. කුරුඳුවලට අමතරව මෙරට ගම්මිරිස්, එනසාල්, කරාබු නැටි, මුතු, මැණික් හා ඇත් දත් ආදිය ද ඉහළ මිලකට අලෙවි කළ හැකි වෙළෙඳ ද්‍රව්‍ය විය. මෙබඳු කරුණු නිසා ඉංග්‍රීසීන් ශ්‍රී ලංකාවේ දේශපාලන බලය පිහිටුවීම කෙරෙහි යොමු වූ බව පෙනේ.

ඉංග්‍රීසීන් හා උඩරට රාජ්‍ය අතර දූත සබඳතා

පෘතුගීසීන් මෙරටින් පලවා හැරීමට ලන්දේසින්ගේ සහය ලබා ගත් සෙයින් ම ලන්දේසීන් දිවයිනෙන් පලවා හැරීම සඳහා වෙනත් විදේශ ජාතියක සහාය ලබා ගැනීමට උඩරට රජවරු කල්පනා කළහ. මේ අනුව කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් ඉන්දියාවේ සිටි ඉංග්‍රීසීන් වෙත මෙන් ම ප්‍රංශවරුන් වෙත ද දූතයන් යවන ලදි. ඉංග්‍රීසි දූතයන් උඩරටට පැමිණීමට පසුබිම සැකසුණේ එහි ප්‍රතිඵල වශයෙනි. ඉංග්‍රීසීන් මෙරට මුහුදුබඩ ප්‍රදේශ අත්පත් කර ගැනීමට පෙර ඔවුන්ගේ දූතයන් තිදෙනෙකු වරින් වර උඩරටට පැමිණ තිබේ.

  • ™ 1762 දී ජෝන් පයිබස් උඩරට ට පැමිණීම
  • ™ 1782 දී හියුබොයිඩ් උඩරට ට පැමිණීම
  • ™ 1795 දී රොබට් ඇන්ඩෲස් උඩරට ට පැමිණීම

ජෝන් පයිබස් උඩරටට පැමිණෙන විට කීර්ති ශ්‍රී රාජසිංහ රජු උඩරට පාලකයා විය. සෙසු ඉංග්‍රීසි දූත ගමන් දෙක සිදු වූයේ රාජාධිරාජසිංහ රජුගේ කාලයේ දී ය. ජෝන් පයිබස් හා හියුබොයිඩ්ගේ ගමන්වල දී ඉංග්‍රීසීන්ට අවශ්‍ය වූයේ ලංකාව සමග වෙළෙඳ සබඳතා ඇති කර ගැනීම යි. එම දූත ගමන් සිදු වූ කාලයේ ලන්දේසින් හා ඉංග්‍රීසීන් ගැටුම්වලින් වැළකී එකමුතු ව අවශ්‍ය අවස්ථාවල ත්‍රිකුණාමල වරාය භාවිත කිරීමට ද කටයුතු කළ අතර මේ නිසා ලන්දේසීන්ට එරෙහි ව උඩරටට ආධාර දීමට ඉංග්‍රීසීහු ඉදිරිපත් නොවූහ. තමන්ගේ දේශපාලන අරමුණ වූ ලන්දේසීන් පළවා හැරීමට සහාය නොලැබෙන ජාතියක් සමඟ වෙළෙඳ සබඳතා ඇති කර ගැනීමට උඩරට රජවරු උනන්දු නොවූහ. මේ නිසා මුල් දූත ගමන් දෙකෙන් සාර්ථක ප්‍රතිඵල නොලැබුණි.

1795 වර්ෂයේ අගෝස්තු මාසයේ ඉංග්‍රීසි හමුදාව ලන්දේසීන් සතුව තිබූ ත්‍රිකුණාමල වරාය අල්ලා ගැනීමෙන් පසුව රොබට් ඇන්ඩෲස් උඩරටට ගොස් රාජාධිරාජසිංහ රජු මුණ ගැසුණි. ලංකාවේ සෙසු ලන්දේසී බලකොටු ඉංග්‍රීසීන් යටතට ගැනීමට සටන් සිදු වන විට උඩරට රජුගේ සහාය ඉංග්‍රීසීන්ට ලබා ගැනීම ගැන සාකච්ඡා කිරීම ඇන්ඩෲන්ගේ දූත ගමනේ මූලික අරමුණ විය. එහි දී ඉංග්‍රීසීන්ට ආධාර ලබා දීමට රජු එකඟ විය. එහෙත් ලන්දේසීන් සමග මෙරට දී සිදු කළ සටන තමන් අපේක්ෂා කළ තරම් දුෂ්කර නොවන බව ලන්දේසි බලකොටු යටත් කිරීමෙන් ඉංග්‍රීසීන්ට පැහැදිලි විය. මේ නිසා දිවයිනේ ලන්දේසීන් සතු ප්‍රදේශ අත්පත් කර ගැනීමෙන් තමන් ලබන වාසිය උඩරට රජු සමඟ බෙදා හදා ගැනීමට ඉංග්‍රීසීන් තුළ කැමැත්තක් නොතිබුණි. එහි ප්‍රතිඵල වශයෙන් උඩරට රජුගේ කොන්දේසි පිළිගෙන රජු සමඟ දිගු කාලීන මිත්‍රත්වයක් ඇති කර ගැනීමට අවශ්‍ය සාකච්ඡා පැවැත්වීමට ඉංග්‍රීසීහු ඉදිරිපත් නොවූහ.

Post a comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *