සමාජ වෙනස්වීම් මධ්‍යම පන්තියක් බිහිවීම

බ්‍රිතාන්‍ය පාලන කාලය තුළ මෙරට සිදු වූ සමාජ වෙනස්වීම් අතර පැරණි ප්‍රභූ පන්තිය අභාවයට ගොස් නව මධ්‍යම පන්තියක් බිහිවීම කැපී පෙනෙන ලක්ෂණයකි. පැරණි ප්‍රභූ පන්තිය යනු ආර්ථික තත්ත්වය, සමාජ තත්ත්වය හා දේශපාලන බලය අතින් සෙසු ජනතාවට වඩා විශේෂයෙන් කැපී පෙනුණු පිරිසකි. සැලකිය යුතු ඉඩම් හිමිකමක් තිබූ ඔවුහු ඉහළ ආදායමක් ලැබූ අතර පවත්නා පාලනයට පක්ෂපාතීව කටයුතු කිරීමෙන් රජයේ නිල තල දැරූ පිරිසක් ද වූහ.

මේ තත්ත්වය නිසා සමාජමය වශයෙන් ඔවුහු සෙසු ජනතාවගේ ගෞරවයට හා සැලකිල්ලට ලක් වූහ. පාරම්පරික ප්‍රභූ පන්තිය ලෙස සැලකිය හැකි මෙම පිරිස රදලයන් වශයෙන් ද හඳුන්වනු ලැබේ.

කෝල්බෲක් ප්‍රතිසංස්කරණ මගින් මෙරට ධනවාදී ආර්ථික ක්‍රමයකට පදනම සැකසුණු බැවින් සාම්ප්‍රදායික ධනෝපායන මාර්ග වෙනුවට ධනය උපයාගත හැකි අලුත් මාර්ග රැසක් විවෘත විය. වතු වගාව මුල් කරගෙන බිහි වූ මෙම ආර්ථික ක්‍රමය හමුවේ වතුකරයට අවශ්‍ය දේ සපයන කොන්ත්‍රාත්කරුවන් ලෙස කටයුතු කිරීම, අරක්කු නිෂ්පාදනය හා බෙදා හැරීම හෙවත් අරක්කු රේන්ද කටයුතු, මිනිරන් කර්මාන්තය, තොග හා සිල්ලර වෙළෙඳාම, ප්‍රවාහන කටයුතු හා පොල් වගාව ආදිය ස්වදේශිකයන්ට ද ධනය ආයෝජනය කළ හැකි ව්‍යාපාර විය. මේ නිසා 20 වන සියවස ආරම්භ වන විට ඉහත ව්‍යාපාරවලට මුදල් යොදවා ධනය උපයාගත් ස්වදේශීය ධනවත්තු පිරිසක් බිහි වූහ. මෙම ධනවත් පන්තිය තම දූ දරුවන්ට මෙරට දී මෙන් ම විදේශයන් හි උසස් අධ්‍යාපනයක් ලබා දීමට ධනය වැය කළහ. බ්‍රිතාන්‍යය පාලන කාලයේ දී නීතීඥ වෛද්‍ය, ඉංජිනේරු, මිනින්දෝරු, ලිපිකාර, සිවිල් සේවය වැනි අලුත් රැකියා අවස්ථා ජනිත වී තිබුණි. ඉංග්‍රීසි අධ්‍යාපනය මගින් මෙබඳු රැකියාවන්ට ඇතුඵ වී උසස් ජීවන තත්ත්වයක් මෙන් ම ඉහළ සමාජ පිළිගැනීමක් ද ලබා ගත හැකි විය. මේ නිසා එය මධ්‍යම පන්තියට ඇතුඵ වීමේ තවත් fදාරටුවක් බවට පත්ව තිබිණි.

බ්‍රිතාන්‍ය පාලන කාලයේ විවෘත වූ අලුත් ධනෝපායන මාර්ගවලින් මුදල් උපයාගත් ව්‍යාපාරික පිරිසක් මෙන් ම ඉංග්‍රීසි අධ්‍යාපනයෙන් රජයේ තනතුරු ලබාගත් උගත්තු පිරිසක් ද බිහි වූහ. මෙම පිරිස ආර්ථික තත්ත්වය අතින් සෙසු ජනතාව අතර වෙසෙසින් කැපී පෙනුණු කොටසක් බැවින් ඔවුන් මධ්‍යම පන්තිය වශයෙන් හඳුන්වනු ලැබේ. 20 වන සියවස ආරම්භ වන විට මේ මධ්‍යම පන්තිය බිහි වීමත් සමග පැරණි ප්‍රභූ පන්තිය අභාවයට ගියේ ය.

අලුතෙන් බිහි වූ මධ්‍යම පන්තියේ සිටි උගත්තු දේශපාලන වශයෙන් ද ක්‍රියාකාරී කොටසක් බවට පත් වූහ. 20 වන සියවසේ මෙරට දේශපාලන උද්ඝෝෂණවල පෙරමුණ ගන්නා ලද්දේ ඔවුන් විසිනි. උගත් මධ්‍යම පන්තිය වශයෙන් හඳුන්වන මෙම පිරිස බටහිර අධ්‍යාපනය තුළින් සමාජ තත්ත්වයක් ලබා ගත් අය වේ. එබැවින් ඔවුහු බටහිර සංස්කෘතිය අනුගමනය කරන ධනවත් නගර වැසියන් පිරිසක් බවට පත් වූහ.

කම්කරු පන්තියක් බිහි වීම

බි්‍රතාන්‍ය පාලන සමය තුළ ඇති වූ ආර්ථික වෙනස්කම් නිසා මෙරට කම්කරු පන්තියක් බිහි වීම ද කැපී පෙනෙන ලක්ෂණයකි. මෙරට පැවති සාම්ප්‍රදායික පාලනය යටතේ රජයේ පොදු කටයුතු සඳහා අනිවාර්ය සේවා රාජකාරි ශ්‍රම ක්‍රමය අනුව ශ්‍රමය ලබා ගත් බැවින් වැටුපට වැඩ කරන පිරිසක් බිහි නො වුණි. එහෙත් බ්‍රිතාන්‍ය පාලන කාලයේ උඩරට ප්‍රදේශවල වතු වගාව ආරම්භ වූ හෙයින් වතුවල සේවය කිරීමට කම්කරුවන් අවශ්‍ය විය. මේ අවධිය වන විට ඉන්දියාව ද බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති බැවින් ඉතා අවම වැටුපකට දකුණු ඉන්දියාවෙන් කම්කරුවන් ගෙන්වා ගැනීම වඩාත් ලාභදායි විය. එබැවින් වතු පාලකයන් විසින් දහස් ගණනින් දකුණු ඉන්දියානු කම්කරුවන් මෙරටට ගෙන්වන ලදි. මේ නිසා උඩරට ප්‍රදේශය ආශ්‍රිතව කම්කරු ජනතාවක් බිහි වීමට මග සැලසුණි.

අලුතෙන් ඇති වූ ආර්ථික වෙනස්කම් නිසා කොළඹ, ගාල්ල, මහනුවර වැනි නගර ආශ්‍රිතව බඩු බෑම, පැටවීම, රෙදි සේදීම, කරත්ත මගින් භාණ්ඩ ප්‍රවාහනය, මංමාවත් හා දුම්රිය මාර්ග තැනීම වැනි සේවා සඳහා ශ්‍රමිකයන් අවශ්‍ය විය. මේ නිසා ඉන්දියානු වතු කම්කරුවන්ට අමතරව නාගරික ප්‍රදේශ ආශ්‍රිතව ස්වදේශීය කම්කරු පිරිසක් ද බිහි විය. මුල් කාලයේ දී කම්කරුවන්ට හිමි වූයේ ඉතා අවම වැටුපකි. වැඩ පැය ගණන ද නිශ්චිත නො වී ය. කම්කරු රක්ෂණ, වන්දි ක්‍රම හෝ වෙනත් ශුභ සාධන කටයුතු ද නො තිබුණි. මේ නිසා නාගරික කම්කරුවෝ වෘත්තීය සංගම් පිහිටුවා ගනිමින් තම අයිතිවාසිකම් දිනා ගැනීමට සංවිධානය වන්නට වූහ. එසේ ම ඒ ඒ ක්ෂේත්‍රවල කම්කරුවන් අතර එකමුතුකමක් ගොඩනැගෙන්නට වූ හෙයින් තම තත්ත්වය දියුණු කර ගැනීමට ඔවුහු වැඩවර්ජන කිරීමටත් පෙළඹුණහ. මුද්‍රණ කම්කරු වැඩ වර්ජනය, කොළඹ රෙදි සෝදන්නන්ගේ වැඩ වර්ජනය, කරත්තකරුවන්ගේ වැඩ වර්ජනය ආදිය 20 වන සියවස ආරම්භයේ ඇති වූ කම්කරු සටන්වලට උදාාහරණ වේ.

20 වන සියවසේ තෙවන දශකය වන විට කම්කරුවෝ වඩා හොඳින් සංවිධානය වන්නට වූහ. ඒ. ඊ. ගුණසිංහ මහතා නාගරික කම්කරුවන් එසේ සංවිධානය කිරීමට වෙහෙසුණු අයෙකි. 1922 වර්ෂයේ සිට 1935 පමණ තෙක් හෙතෙම මෙරට කැපී පෙනෙන කම්කරු නායකයා විය. 1922 දී ගුණසිංහ මහතාගේ පුරෝගාමීත්වයෙන් ලංකා කම්කරු සංගමය පිහිටුවීම මෙරට වෘත්තීය සමිති ව්‍යාපාරයේ කැපී පෙනෙන අවස්ථාවකි. ඩොනමෝර් ආණ්ඩුක්‍රමය පැවති කාලයේ දී ලංකා සම සමාජ පක්ෂයේ නායකයෝ වෘත්තීය සංගම් පිහිටුවමින් කම්කරු අයිතිවාසිකම් දිනා ගැනීමේ සටන්වලට නායකත්වය දුන්හ. මේ කාලයේ දී මෙරට වතු කම්කරුවන් අතර ද වෘත්තීය සංගම් පිහිටුවීමට නායකත්වය සපයන ලද්දේ නටේස අයියර් මහතා විසිනි.

සංස්කෘතික වෙනස්වීම්

බ්‍රිතාන්‍යය පාලන කාලය තුළ සමාජ වෙනස්වීම්වලට සමගාමීව මෙරට සංස්කෘතික ක්ෂේත්‍රයේ ද වෙනස්කම් රැසක් සිදු විය. බටහිර සංස්කෘතිය රට තුළ පැතිරයාම ඒ අතරින් කැපී පෙනේ. කෝල්බෲක් ප්‍රතිසංස්කරණවලින් පසුව ඉංග්‍රීසි භාෂා අධ්‍යයනය හා බටහිර අධ්‍යාපනය වේගයෙන් ව්‍යාප්ත විය. බොහෝ විට මිෂනාරි පාසල් හා රජයේ අනුග්‍රහය ලැබූ පාසල්වල විෂය නිර්දේශ සැකසුවේ හා ඉගැන්වීම් කටයුතුවල නිරත වූයේ ද විදේශිකයෝ ය. මේ නිසා එබඳු පාසල් තුළින් ද බටහිර සංස්කෘතිය පැතිරයාමට මග සැලසිණ. අධ්‍යාපන කටයුතු සඳහා විදේශ ගත වූවන් මගින් ද බටහිර සංස්කෘතියේ ඇතැම් අංග මෙරටට පැතිරිණි.

19 වන සියවස තුළ වතු වගා ව්‍යාප්තිය, වෙළෙඳාම දියුණු වීම, ගමනාගමන කටයුතු හා සන්නිවේදන කටයුතුවල ඇති වූ දියුණුව නිසා යුරෝපීයයන් වැඩි වැඩියෙන් මෙරටට පැමිනුණි. මේ නිසා ඔවුන්ගේ සමාජ ශාලා, නිවාඩු නිකේතන ආදිය බිහි වූ අතර එබඳු හේතු ද බටහිර සංස්කෘතිය රට තුළ පැතිර යාමට ඉවහල් විය. මෙසේ විවිධ සාධකවල බලපෑම නිසා බටහිර ඇඳුම් පැලඳුම්, සිරිත් විරිත්, ආචාර සමාචාර විධි, බටහිර ගෘහ නිර්මාණ ශිල්පය , ආහාර පාන, මෙරට සංස්කෘතිය සමග මිශ්‍ර විය.

Post a comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *