පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය ආරක්ෂා කර ගැනීම

ශ්‍රී ලංකාවට හිමි දීර්ඝ ඉතිහාසයත්, අතීත ජනගහන ව්‍යාප්තියත්, ශතවර්ෂ ගණනාවක් තුළ මෙරට ජීවත් වූ ජන සංඛ්‍යාවත් දෙස බලන විට පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය වශයෙන් අද අපට ඉතිරිව ඇත්තේ ගල්, ලෝහ, හෝ පිළිස්සූ මැටි වැනි කල් පවතිනා අමුද්‍රව්‍යවලින් කළ නිර්මාණ පමණකි. නැතහොත් වැව්අමුණු වැනි මහා පරිමාණ නිර්මාණ වේ. රට තුළ සිදුවන ශීඝ්‍ර නාගරීකරණය, ජනාවාස ව්‍යාප්තිය, මංමාවත් තැනවීම, ගොඩනැගිලි ඉදිකිරීම, කෘෂිකාර්මික කටයුතු ආදිය නිසා ඇතැම් විට මෙම වටිනා මූලාශ්‍රය විනාශ වන අවස්ථා තිබේ. ඓතිහාසික ස්ථාන, ස්මාරක හා පුරාවස්තු අද අපට දක්නට ලැබෙනුයේ අපේ අතීත පරම්පරාව ඒවා ආරක්‍ෂා කළ නිසා ය. එබැවින් වර්තමාන පරම්පරාව වශයෙන් ඒවා ආරක්‍ෂා කිරීම රටේ සියලු පුරවැසියන් සතු වගකීමකි.

ශ්‍රී ලංකාවේ නොයෙක් ප්‍රදේශවල ගල්වල කොටා ඇති විවිධ පැරණි සලකුණු දක්නට ලැබේ. එසේ දක්නට ලැබෙන ඉර හඳ රූප, වටාපොත, දුන්න, ඊතලය, හක්ගෙඩිය, ගොන්කුරය, ඇත් අඩිය හා විවිධ සත්ත්ව රූප ආදිය පැරණි ප්‍රදේශීය මායිම් පෙන්වන රූප සටහන් වේ. නැතහොත් වර්තමාන මාර්ග සලකුණු මෙන් ඒවා ද පැරණි සන්නිවේදන ක්‍රමයකි. මෙවැනි සලකුණු හා සඳකඩපහණ, මුරගල්, ගල්කණු හෝ පුරාවස්තු ඇති වෙනත් ස්ථානවල වටිනා දේ තැන්පත්ව ඇතැයි වරදවා සිතන ඇතැම්හු නොදැනුවත්කම නිසා මෙබදු තැන් හාරා විනාශ කරති. ඵෙතිහාසික ස්ථානවල හෝ පුරා වස්තු මත අකුරු ලිවීම, රූප ඇඳීම ආදියත් පුරා වස්තු විනාශයට හේතු වන අතර රටේ නීතිය අනුව ද එය දඬුවම් ලැබෙන වරදකි. එබැවින් පුරාවිද්‍යා මූලාශ්‍රයවලින් සිදුවන මෙහෙය වටහාගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වශයෙන් ඒවා ආරක්‍ෂා කිරීමට ඔබ අධිෂ්ඨාන කර ගත යුතු ය.

Post a comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *