ජීවීන් සියලු දෙනා ම තම වර්ගයා බෝ කිරීමකින් තොරව මරණයට පත්වුවහොත් ලෝකයේ පැවැත්ම කෙසේ වේ ද? එසේ වුවහොත් එක් එක් ජීවී ගහනය කාලයක් සමඟ සදහට ම ලොවෙන් තුරන් වනු ඇත. එබැවින් එක් පරම්පරාවක් මිය යන්නට පෙර එම පරම්පරාව විසින් තවත් පරම්පරාවක් බිහි කළ යුතු ය. ඒක සෛලික ජීවියකු හෝ බහුසෛලික ජීවියකු තම වර්ගයාගේ ඉදිරි පැවැත්ම සඳහා නව පරම්පරාවක් බිහි කිරීමේ කාර්යාවලිය ප්‍රජනනය නම් වේ.
ප්‍රජනනය, ලිංගික ප්‍රජනනය හා අලිංගික ප්‍රජනනය ලෙස ආකාර දෙකකි. ලිංගික ප්‍රජනනයේදී එක ම විශේෂයට අයත් ජීවීන් දෙදෙනකුගේ ජන්මාණු සෛල දෙකක් (පුං ජන්මාණුවක් හා ජායා ජන්මාණුවක්) එකතු වී යුක්තාණුවක් සාදයි. නව ජීවියකු ගොඩනගන ක්‍රියාවලියේ මුල් ම සෛලය වන්නේ මෙම යුක්තාණුවයි. අලිංගික ප්‍රජනනයේ දී වෙනත් ජීවියකුගේ සහභාගිත්වයක් නැතිව තනි ජීවියකුට එවැනි ම තවත් ජීවියෙක් බිහිකළ හැකි ය.
උදා – වර්ධක කොටස් මගින් ජීවීන් බෝවීම.