ජල ටැංකියක් පිහිටුවා ඇති උස වැඩි වන විට, නළ දිගේ ජලය ගලන වේගය වැඩි වන බව ඔබ දන්නා කරුණකි. එසේ ජලය ගලන වේගය වැඩි වන්නේ ජල ටැංකිය හා එයින් ජලය ලබාගන්නා ස්ථානය අතර පීඩන අන්තරය වැඩි බැවිනි.
විද්‍යුත් පරිපථයක ධාරාව ගැලීමේ ක්‍රියාවලිය ජල ටැංකියකින් ඉවතට ජලය ගලායාමේ ක්‍රියාවලියට සමාන කළ හැකි ය. මෙහි දී විදුලි ප්‍රභවය, ජල ටැංකියට සමාන ආකාරයකට ක්‍රියාකරයි. ටැංකියට සවි කර ඇති නළයක දෙකෙළවර අතර පීඩන අන්තරය අනුරූප වන්නේ, විදුලි ප්‍රභවය මගින් එහි ඍණ අග්‍රයේ සිට සන්නායකය හරහා ධන අග්‍රය දක්වා ඉලෙක්ට්‍රෝන තල්ලු කිරීම නිසා ඇතිවන විද්‍යුත් පීඩන අන්තරයටයි.
මෙම විද්‍යුත් පීඩන අන්තරය, විභව අන්තරය(potential difference)ලෙස හැඳින්වේ. විභව අන්තරය මැනීම සඳහා භාවිත කරන ඒකකය වෝල්ටය (V) වේ. තවද ඍණ අග්‍රයෙන් බාහිර පරිපථයට ඉලෙක්ට්‍රෝන පළවා හරින බලය, විද්‍යුත්ගාමක බලය(electromotive force) ලෙස හැඳින්වේ.
කෝෂයක විද්‍යුත්ගාමක බලය සමාන වන්නේ විදුලි කෝෂයකින් විදුලිය ලබා නොගන්නා විට එහි අග්‍ර දෙක අතර පවත්නා විභව අන්තරයට යි. කෝෂයකින් විද්‍යුත් ධාරාවක් ලබා ගන්නා විට එම ධාරාව කෝෂය තුළින් ද ගලා යයි. කෝෂය තුළ ද විද්‍යුත් ප්‍රතිරෝධයක් ක්‍රියා කරයි. එවිට කෝෂය තුළ ප්‍රතිරෝධය හරහා කුඩා විභව අන්තරයක් ඇති වේ. එම විභව අන්තරය, විද්‍යුත්ගාමක බලයෙන් අඩු කළ විට කෝෂයෙන් බාහිර පරිපථයට ලබා දෙන විභව අන්තරය ලැබේ. පරිපථයක ලක්ෂ්‍ය දෙකක් අතර විභව අන්තරය වෝල්ට්වලින් මනින නිසා එය වෝල්ටීයතාව (voltage) ලෙස ද හැඳින්වේ.
වෝල්ටීයතාව මැනීමට භාවිත කරන උපකරණය වෝල්ට්මීටරය නමින් හැඳින්වේ. වෝල්ටීයතාවය මැනීමට සංඛ්‍යාංක මල්ටිමීටරය ද භාවිතා කළ හැකිය . පරිපථයක ලක්ෂ්‍ය දෙකක් අතර විභව අන්තරය මැනීම සඳහා 19.13 රූපයේ පෙන්වා ඇති ආකාරයට වෝල්ට්මීටරයේ අග්‍ර දෙක එම ලක්ෂ්‍ය දෙකට සම්බන්ධ කළ යුතු ය.
විදුලි ධාරාව ගැලීම සඳහා කෝෂයක අග්‍ර දෙක අතර විභව අන්තරයක් තිබිය යුතු බව තහවුරු කිරීම සඳහා පහත දැක්වෙන ක්‍රියාකාරකමෙහි යෙදෙමු.