විද්‍යුත් ඍණතාව යනු රසායනික බන්ධනයක ඇති ඉලෙක්ට්‍රෝන බන්ධනයකට සහභාගී වන යම් පරමාණුවක් දෙසට ආකර්ෂණය කිරීමේ හැකියාවයි. එය විවිධ පරමාණු සඳහා වෙනස් අගය ගනී. විද්‍යුත් ඍණතාව සමාන හයිඩ්රජන් පරමාණු දෙකක් සහසංයුජ බන්ධනයකින් බැදීමෙන් හයිඩ්‍රජන් අණුව සෑදෙයි. මෙහි බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලයේ ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තිය සමමිතික ව පවතී. එම නිසා හයිඩ්‍රජන් නිර්ධ්‍රැවීය අණුවකි. එහෙත්, විද්‍යුත් ඍණතාව වෙනස් පරමාණු දෙකක් සහසංයුජ බන්ධනයකින් බැඳී ඇති විට එම පරමාණු බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලයට දක්වන ආකර්ෂණය සමාන නොවේ. උදාහරණයක් ලෙස හයිඩ්‍රජන් ෆ්ලුවොරයිඩ් අණුව සලකා බලමු. මෙහිදී ෆ්ලුවොරීන්, හයිඩ්‍රජන්වලට වඩා විද්‍යුත් ඍණතාවෙන් ඉහළ බැවින් බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලය ෆ්ලුවොරීන් පරමාණුව දෙසට වඩාත් ආකර්ෂණය වී පවතී. එවිට ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තිය අසමමිතකවේ. මේ හේතුවෙන් ෆ්ලුවොරීන් පරමාණුවට ඉතා කුඩා සෘණ ආරෝපණයකුත්, හයිඩ්‍රජන් පරමාණුවට ඉතා කුඩා ධන ආරෝපණයකුත් ලැබේ. මෙය ධ්‍රැවීකරණය ලෙස හැඳින්වේ. නමුත් සමස්ත අණුව සැලකූ විට HF උදාසීන අණුවකි.
විද්‍යුත් ඍණතාව අසමාන පරමාණු දෙකක් සහසංයුජ බන්ධනයකින් බැඳුණු විට බන්ධන ඉලෙක්ට්‍රෝන අසමමිතික ව ව්‍යාප්ත වීම නිසා එම සහසංයුජ බන්ධන ධ්‍රැවීකරණය වේ. මෙවැනි බන්ධන ධ්‍රැවීය සහසංයුජ බන්ධන ලෙස හැඳින්වේ. විද්‍යුත් ඍණතා සමාන හෝ එකිනෙකට සුළු වශයෙන් වෙනස් පරමාණු දෙකක් සහසංයුජ බන්ධනයකින් බැඳී ඇති විට එම පරමාණු දෙක අතර බන්ධන ඉලෙක්ට්‍රෝන සමමිතික ව ව්‍යාප්ත වේ. එවැනි සහසංයුජ බන්ධන නිර්ධ්‍රැවීය සහසංයුජ බන්ධන ලෙස හැඳින්වේ.
ජල අණුව අධ්‍යයනයට ගත් විට එහි ඔක්සිජන් පරමාණුවේ සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන යුගල හතරක් ඇත. ඉන් දෙකක් බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල වන අතර ඉතිරි දෙක එකසර ඉලෙක්ට්‍රෝන යුගල වේ. ජල අණුවෙහි O-H බන්ධනය සැලකූ විට විද්‍යුත් ඍණතාව වැඩි ඔක්සිජන් පරමාණුව වෙත බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල ය වැඩිපුර ආකර්ෂණය වන බැවින් ඒ මත කුඩා ඍණ ආරෝපණයක් ද හයිඩ්‍රජන් පරමාණුව මත කුඩා ධන ආරෝපණයක් ද ඇති වන පරිදි අණුව ධ්‍රැවීකරණය වේ.
මේ අනුව ජලය ධ්‍රැවීය සහසංයුජ බන්ධන සහිත සංයෝගයකි. ජල අණුව ත්‍රිමාණ අවකාශයේ සකස් වී ඇත්තේ පහත සඳහන් ආකාරයටයි. එය කෝණික හැඩයක් ගනී (10.19 රූපය).